Saturday, July 26, 2014

( මෙහි එන නම් ගම් සියල්ල මන: කලපිතය. )

෴ රතු ඇට මිදුළු   

( 4 වන කොටස )

"ඒයි කෙවින් කවුද උං දෙන්නෙක් අර කාර් එකෙං බැස්ස බං"

එසේ කී හෂාන් නැවතී ඒ මිනිසුන් දෙදෙනා දෙස බලා සිටින්නට විය. ඒ අතර උන් සෙනඟ අතර අප දෙදෙනා සොයන ආකාරය මට දකින්නට ලැබුනේය.


" ඉක්මනට වරෙං හෂාන්... ඉක්මනට මාරු වෙමු මොකක් හරි ලෙඩක් වැටීගෙන වගේ එන්නේ"


අපි දෙද‍ෙනා අඩිය ඉක්මන් කරමින් ඔවුන් මඟ හරිමින් යන්නට පටන් ගත්තේය. නමුත් උන් අප දෙසටම පැමිණෙන්නට විය. අපි තවත් වේගය වැඩි කළෙමු. ඒ කෙසේ වෙතත් අප දෙදෙනා අප්‍රමාණ බියකින් පසුවිය.


" මොකද්ද බං මේ?"  හෂාන් ඇසුවේය.

" අනේ මන්ද බං මට තේරෙන්නෙත් නෑ මොකද්ද කියල, නිකං අහක යන කුණු ගොඩක් වගේ බං" 


අපි දෙදෙනා දුවමින් සිටියේ බස් නැවතුම්පළ දෙසටය.


" මේ හෂාන් අපි බස් එකට නගින්නෙ නැතුව බොරුවට වෙන පැත්තකට යමු මොකද මුං අපි යන පැත්ත බලාගන්න එක ඒ තරම් හොඳ නෑ මචං" මා හෂාන්ට කීවෙමි.

" අැත්ත තමයි, උඹටත් මොළේ් ටිකක් තියෙනව නේ බං" 


අපි විගස පුෂ්පාරාම මාවතට හැරී ටික දුරක් ගමන් කර හැරී බලන විට අප ලුහුබැඳි ඒ මිනිසුන් දෙදෙනා පෙනෙන්නට සිටියේ නැත. අපි දිවිල්ල නවත්වා ඔවුන් කොහෙද යැයි බැලුවේය.


"අපි දැං මොකද කරන්නේ බං, දැං ඉතිං යමු" හෂාන් යෝජනා කළේය.

"නෑ මචං අපි දැන්ම යන්න හොඳ නෑ මොකද මෙච්චර දුරක් අපිව එලවගෙන ආපු උන් එහෙම නිකං යන එකක් නෑ. අපි තව ටිකක් මේ විදියටම ඉස්සරහට යමු" යි මා කී විට හෂාන් ද හිස සොලවා එය අනුමත කළේය.


අපි මීටර කිහිපයක් පසු කරන විටම ඉදිරියෙන් වේගයෙන් ඇදී ආවේ උන් පැමිණි වාහනයයි. අප දෙදෙනා ආපසු හැරී වෙගයෙන් බස් නැවතුම්පළ දෙසට දිව ගියේ පසු පස නොබලමිනි. කඩ සාප්පු අතරින් මිනිසුන්ගේ හැපෙමින් අපි දිව ගියෙමු. ඔවුන් දෙදෙනා නැවත වාහනයෙන් බැස අප ලුහුඳින්නට විය. ඒ අතර ඇතුළේ සිටි එකෙක් මහ හඬින් " අරුං දෙන්නව පන පිටින් ගෙනෙල්ල නැත්තං තොපි ඉවරයි....."
යැයි කෑගසනු අපට ඇසුනි.



අප දෙදෙනා මරු විකල්ලෙන් මෙන් දිව යන විට අපට මුර සංචාරයේ යෙදෙන පොලිස් රථයක් හමු විය. එහි සිටි පොලිස් නිළධාරින් දෙදෙන අපට නවතින්න ලෙස අතින් සංඥා කළේය.

"ඇයි පුතා මොකද්ද ප්‍රශ්ණෙ ඇයි ඕගොල්ලො දුවන්නේ?" යි එක් නිළධාරියෙක් අපෙන් විමසුවේය.

"අපි ටවුන් එක මැදින් එනකොට අර අතන කඩේ අයිනෙ හිටගෙන ඉන්න දෙන්න අපිව එළවගෙන ආව. දැං ගොඩක් දුර ඉඳං අපේ පස්සෙන් එනව" මා හති දමමින් කීවෙමි.

"හරි ඔය දෙන්න ඔහොම ඉන්න" යී කී පොලිස් නිළධාරින් දෙදෙනා ඔවුන් දෙසට යන්නට සූදානම් වන විටම ඔවුන් දෙදෙනා  කලබල වී දුවන්න පටන් ගත්තේය. එවිට පොලිස් නිළධාරින් දෙදෙනාද ඔවුන් පසුපස එළවන්නට පටන් ගත්තේය. 

අප පසුපස ආ එකෙකු පාරේ යන කෙනෙකුගේ ඇඟ‍ේ හැපී විසි වී වැටුනේය. ඔහු අපසු නැගිට දුවන විට ඔහුගේ සාක්කුවේ තිබී යමක් වැටෙනු අප දෙදෙනා දුටුවද පොලිස් නිළධාරීන් දෙදෙනා දුටුවේ නැත. 

                                                 ......මතු සම්බන්ධයි......











Tuesday, December 18, 2012

( මෙහි එන නම් ගම් සියල්ල මන: කලපිතය. )

෴ රතු ඇට මිදුළු   

( 3 වන කොටස )

මා ජංගම දුරකථනයත් රැගෙන මිදුලට ගොස් හෂාන්ට ඇමතුමක් ගත්තෙමි.

"හෙලෝ, ඔව් කියපං කෙවින්" ඔහු සුපුරුදු අයුරින් ඇමතුවේය.

" මචං උඹ වැඩකද ඉන්නෙ, ටිකක් වෙලාව අරං කතා කරන්න ඕන බං "

" අහ්... හරි මචං අවුලක් නෑ කියපං " හෂාන් කීවේය.

" මචං හෂාන් මං ලොකු අවුලක පැටලිල වගේ බං ඉන්නෙ. මට හිතා ගන්න බැරුව බං ඉන්නෙ මොකද්ද මේ කියල "

" හරි ඉතිං මොකද්ද කියපංකො. මොකො පුතා සිල් පවාරනය කරලවත්ද " කී හෂාන් සිනාසෙන්න පටන් ගත්තේය.

" නෑ නෑ බං මේක එහෙම එකක් නෙමෙයි... අහපංකො " විහිළුව නැවතීමෙ අරමුණෙන් මා කීවෙමි.

" හරි හරි කෙවින් උඹ දැං කොහෙද ඉන්නෙ කියපං "

" මං ගෙදර ඉන්නෙ බං. ඇයි? "

" හරි මචං මං දැනුයි යන්න හදන්නෙ. මං දැං උඹලගෙ ගෙදර එන්නද? "

" අනේ මචං ලොකු දෙයක් වරෙන් හෙටත් නිවාඩු නිසා අපිට මේ ගැන කතා කරන්නත් පුලුවං "

" හරි කෙවින් මං දැං එන්නම්. රෑට කන්න ටිකක් වැඩියෙන් හදපං.... " කී හෂාන් සිනාසෙමින් ඇමතුම විසන්ධි කළේය.

මේ අතරේ මා හට තදින් දැනුන ඔලුවෙ කැක්කුම නිසා හෂාන් පැමිණෙන තුරු මා ඇඳට වී සිටියෙමි. මා තදින් නින්දට වැටෙන්නට ඇත මක්නිසාද හෂාන් ගෙදරට එන බවවත් මා දන්නේ නැත.

" ඒයි කෙවින් නැගිටපං බං. මොකද්ද බං උඹ එන ගමන් නිදිකුම්බ මලක්වත් ඉම්බද? " හෂාන් මගේ කකුලෙන් අදින්න පටන් ගත්තේය.

හෂාන් මිතුරෙකු වශයෙන් ඉතා ලඟින් ආශ්‍රය කළ හැක. ඔහු නිරන්තරයෙන් විහිළු තහළු කරන ජීවිතය දෙස සරලව බලන කෙනෙකි. නමුත් බැරෑරුම් අවස්ථාවකදී ඒ දෙස ගැඹුරින් බැලීමට ද සමතෙකි.

" ඒයි උඹ ගිහිං ඇඟපත හෝදගෙන වරෙං ආ... මේ තුවාය ගනිං "

" එතකොට මං ඇඳගෙන ඉන්නෙ මේ තුවායද? "

" හරි හරි උඹ හෝදගෙන වරෙංකො අර මං ඇඳල විසි කරපු සරමක් තියෙනව ඒක දෙන්නම් " සිනහව තද කරගෙන මා කීවෙමි.

" ආ... ඇත්තද එහෙනම් හිටපංකො මං එනකං " කී හෂාන් නාන කාමරයට ගියේය.

හෂාන් පැමිණි පසු අම්මා පිළියෙල නර තිබූ තේ සහ හැලපද රැගෙන මිදුලට ගොස් එහි වූ බංකුව මත ඉඳගත්තෙමු. තේ පානය කරන අතර මා මුහුණ දුන් සිද්ධිය සම්පූර්ණයෙන්ම හෂාන්ට පැවසුවෙමි. සැහැල්ලු මනසකින් මාගේ කතාව ඇසීමට පැමිණි හෂාන්ගේ මුහුණේ භීතියක සෙවනැලි මතු විය.

" ඔන්න ඕකයි මචං මං බය වෙලා හිටියෙ "

" උඹට විතරක් නෙමෙයි බං මගේ හිතටත් බයක් දැනෙනව "

" මෙහෙමයි කෙවින් අපිට මේක ගැන හරි තීරණයකට එන්න විස්තර මදි නේද? අපිට තියෙන එකම දේ ඔය කෝල් එක ආපු නම්බර් එක විතරයිනෙ "

" ඇයි මචං ඒ කෝල් දෙකම ආපු වෙලාව, ඒ කටහඬ, ඇහුණ දේවල් "

" ඔව් ඇත්ත ඒත් ඒවයෙන් මේක කරේ කවුද කියල හොයා ගන්න බෑනෙ බං "

" හ්ම් ඒකනම් ඇත්ත තමයි " මා හෂාන්ගේ මතයට එකඟ විය.

ඒ ආකාරයෙන් එදින සැඳෑව ගෙවා දැමූ අප රාත්‍රී ආහාරය රැගෙන වෙලාසනින් නින්දට වැටුනෙමු.

                                               පසුදා අවදි වන විට උදෑසන හත පසුවී තිබින. තේ පානය කරමින් රූපවාහිනීයේ විකාශය වෙමින් තිබුනු ප්‍රවෘත්ති වෙතට අවධානය යොමු කරගෙන සිටින විට එහි වූ එක් ප්‍රවෘත්තියකින් අප දෙදෙනා ගල් ගැසුනි.

" ඊයේ පස්වරුවේ දෙල්ගොඩ ප්‍රෙදේශයේ ලඳු කැලෑවක තිබී නාඳුනන මල සිරුරක් හමුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
ඉතා මිලේච්ඡ ආකාරයෙන් හඳුනා ගත නොහැකි පරිදි කපා කොටා සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බවත් මෙම ඝාතනය සිදු කොට ඇත්තේ 13 වනදා බව වැඩි දුර ආරංචි මාර්ග පවසා ඇත. එම ප්‍රදේශ භාර පොලිසිය මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව දන්වා සිටී " 

" මේව අහනකොට බය තවත් වැඩි වෙනව බං " හෂාන් පැවසුවේ කලකිරුනු ස්වභාවයකිනි.

"හෂාන් ගෙදර ඉන්නත් කම්මැලිනෙ අපි ටවුන් එක පැත්තෙ ගිහිං එමුද?"
මා යෝජනා කළෙමි.

එම යෝජනාවට හෂාන් එකඟ විය. අපි දෙදෙනා ඉක්මනින් ලෑස්ති වී කෑම කන විට අම්මා පැමිණ,

" ඕගොල්ලො කොහෙද පුතා යන්නෙ? "

" අපි ටවුන් එක පැත්තෙ ගිහිං එන්නම් අම්මෙ. ගෙදරට වෙලා ඉන්නත් කම්මැලිනෙ "

" හ්ම්... එහෙනම් පරිස්සමෙන් ගිහිං එන්න "

අපි දෙදෙනා ගෙදරින් පිටත් වූයේ උදෑසන නවයට පමණය. පොත් සාප්පුවට යෑමටත් ඇඳුම් ටිකක් ගැනීමටත්, ටවුමේ අවන්හලක් කරන මාගේ මිතුරෙකු හමු වීමටත්  අපි බලාපොරොත්තු වූවෙමු.

" කෙවින් කාගෙද බං අර කාර් එක. අර ගේට්ටුව ගාව තියෙන්නෙ. ඇතුලෙනම් කවුරුත් නෑ නේ "


 " මේ හෂාන් ඕප දූප හොයන්නෙ නැතුව වරෙං "

අපි දෙදෙනා කතා කරමින් ටවුන් එකේ ඇවිදගෙන ගියෙමු. පොත් සාප්පුවෙත් ඇඳුම් කඩ වලත් කාලය ගත කර ඉන් පසු මිතුරාගේ අවන්හලට ගොඩ වී සංග්‍රහයකටද සහභාගී වී කතා බහ කරමින් සිටියෙමු. මාගේ මිතුරන් දෙදෙනා හමු වූයේ  එදින බැවින් ඔවුහු බර කතාවක වැටී සිටියහ. එක වරම මා වෙත හැරුනු හෂාන්,
           " කෙවින් අර බලපං අර අපි එනකොට ගේ ගාව තිබුණ කාර් එක නේද? උන් දෙන්න අපි දිහානෙ බං බලන් ඉන්නෙ. "

" ඔව් බං ඇයි ඒ? අපි යමු බං ඉක්මනට මගෙ හිතටත් අමුත්තක් දැනෙනව "

" කෝසල අපි එහෙනං ගිහිං එන්නම් මචං. තව වැඩ වගේකුත් තියෙනව බං "

අපි කෝසලට සමු දී ඉක්මනින් එතනින් ආවෙමු. අපි දෙදෙනාටම එකම වගේ භියක් ඇති වී තිබින. අපි වේගයෙන් ඇවිද ආවේ බස් නැවතුම් පළ දෙසටය.

" කෙවින් උන් එන්නෙ අපේ පස්සෙන් වගේ බං. මොන මගුලක්ද බං මේ? යං යං ඉක්මනට.... "

ඒ මෝටර් රථය අප පසු කර ගොස් ඉදිරියෙන් නැවැත්වීය. එක වරම කළු ඇඳ ගත් මුහුණු වැසෙන්න තොප්පි දමා ගත් දෙදෙනෙක් බැස අප දෙසට එන්නට විය.

( මතු සම්බන්ධයි )

Tuesday, December 11, 2012

නිහඬතාවයේ අරුත භයංකාරයමද?

ඔවුන් දෙදෙනාට කුමක් වීද?



රතු ඇට මිදුළු තුළින් බලාපොරොත්තු වන්න............

Tuesday, November 13, 2012


රතු ඇට මිදුළු 


මෙය ඛේදවාචකයක් ද? නැතිනම් රැවටීමක්ද?

යක්ෂයා තවමත් නිදැල්ලේ.............

රට පුරා බිය පැතිරෙයි..............



මේ පාපතරයා ලුහු බඳින්නේ කාවද?


ඒ අවාසනාවන්තයා සිටින්නේ කොහෙද?








" කෙවින් ඒයි මචං අර අපි ගෙදරින් එනකොට ගේ ගාව නවත්තල තිබුන කාර් එක නේද බං "

"හෂා.........න්.......  වරෙං ඉක්මනට වරෙං දුවමු වරෙං...... ඕකත් අරං වරෙං මේ පැත්තෙං දුවමු මගේ පස්සෙං වරෙං......"

" ඒයි ඔහොම නැවතියල්ලා....... දුවන්න එපා මේක උඹලගෙ අවසානෙ.... ඔහොම හිටපං......  "

" අරුං දෙන්නව පන පිටින් ගෙනෙල්ල නැත්තං තොපි ඉවරයි..... "


---------------"රතු ඇට මිදුළු" 3 වන කොටසින් හමු වෙමු.---------------


Friday, November 9, 2012

( මෙහි එන නම් ගම් සියල්ල මන: කල්පිතය )


෴ රතු ඇට මිදුළු ෴

(2 වන කොටස)

ට්‍රීං..............ට්‍රීං................ට්‍රීං.................ට්‍රීං...............
මහ හ‍ඬින් නාද වු ඔරලෝසුව නිසා මා අවදි වන්නට විය. වේලාව පාන්දර 5.30 ලෙස සටහන් වී තිබූ අතර එසැනින් අවදි වී අම්මා පිළියෙල  කර තිබූ තේ කෝප්පය පානය කර රාජකාරී සඳහා පිවත් විමට සූදානම් විය. අම්මාට වැඳ ගෙදරින් පිටත් වී දුම්රිය ස්ථානයට පැමිණෙන විට එහි වූ විශාල ඔරලෝසුවේ පෙ.ව 6.50 වී තිබූ නිසා ඉක්මනින් ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් කොටුව දුම්රිය පොළට ප්‍රවේශ පත්‍රයක් ගෙන වේදිකාවට ගොඩවත්ම උදෑසන 7.05 කාර්යාල දුම්රිය වේදිකාවට සේන්දු විය. මා දුමරියට ගොඩ වී අසුන්ගෙන කවුළුවෙන් ඈත බලා සිටියදී පෙර දිනයේ සිදුවූ දේ එක වරම මතකයට නැගුනි. එසැනින් මුළු සිරුරම බියකින් වෙලී ගිය අතර ඒ පුද්ගලයාගේ කටහඬ මනසේ දෝංකාර දෙන්නට පටන් ගත්තේය.

 " ඊයෙ නම් මහා අවාසනාවන්ත දවසක්. අනේ දෙවියනේ ඒ කෝල් එක ආවෙනැත්තන් මම කොයිතරම් වාසනාවන්තද? මේ සිද්ධිය නිසා මට දැං පිස්සු වගේ. මේක කාට හරි කිව්වොත් මාව විහිළුවට ගනීයි මට හිනා වෙයි." මේ ආකාරයේ එකිනෙකට පරස්පර විරෝධී සිතුවිලි ගොඩකින් මනස පිරී ගියේය. " ඇත්තටම කවුද ඒ මනුස්සය? මොකටද මටම එයා කෝල් කරේ? කොහෙන්ද මගේ නම්බර් එක? මේක කාගෙ හරි විහිළුවක්ද දන්නෙ නෑ. නෑ ඒත් එහෙම නම් පස්සෙ හරි කෝල් එකක් දෙනව. අනේ මන්ද දැං ඔලුවත් රිදෙනව." මෙලෙස දිගින් දගටම කල්පනාවේ පැටලී සිටයෙමි.


" 3 වන වේදිකාවට පැමිණි දුම්රිය කොළඹ කොටුවට පමණයි. "

එය ඇසුනු විගස මා කල්පනා ලොවින් නික්ම දුම්රියෙන් බැසීමට සෙනග අතරට ගියෙමි. ඒ ආකාරයෙන් කාර්යාලයට යන තුරුම පෙර දවසේ වුනු සිද්ධියෙන් සිත කැළඹී තිබින. එහි යන විට අප ආයතනයේ අනෙක් සගයින් "සුභ උදෑසනක්" කියන අතරෙ මා ඉතා ලඟින් ඇසුරු කරන මිතුරකු වන හෂාන් මා වෙතට පැමිණ " මොකෝ බං අප්සට් එකේ. මොකක් හරි අවුලක්ද? අරයවත් මොකක් හරි කේස් එකක් දැම්මද? නැත්තං උඹට බඩේ අමාරුවක්ද? " කී විට සියල්ලෝම සිනා සුනි.

" මේ උඹ කාල නැත්තං වරෙං කන්න යන්න. " හෂාන් ඇරයුම් කළේය.

 "කන්න බෑ බං උඹ ගිහින් කාපං. මුකුත් අවුලක් නෑ මචං ඊයෙ හවස ඉඳං ඔලුවෙ කැක්කුමක් තියෙනව තාම අමාරුයි බං. " යැයි මා කී විට 

"අහ් එහෙමද මුකුත් බිව්වෙ නැද්ද බං. පැරසිටමෝල් දෙකක් දෙන්නද මං ලඟ ඇති"

"එපා මචං මං එනකොට බීල ආවෙ. දැං හරි යයි. මං චුට්ටක් මෙතන ඔලුව තියාගෙන ඉන්නම්" මට අවශ්‍ය වුනේ හෂාන් මඟ හැරීමයි.

"අනේ මන්ද කෙවින් උඹට කවදාවත් නැතුව අද මේ මොකක් වෙලාද කියල හරි කමක් නෑ උඹ ඔලුව තියාගෙන හිටපං අපි කාල එන්නම්. කනව නම් වරෙං" කී හෂාන් ඉක්මනින් උදේ ආහාර ගැනීමට ගියේය.

මේ ආකාරයෙන් මුළු දවසම ගෙවී ගියේය. මා එදින වේලාසනින් රාජකාරී නිමා කරන බව අංශ ප්‍රධාන මහතාට දැනුම් දී තිබුන නිසා ප.ව 4.30 ට පමණ යෑමට සූදානම් වී මේසය පිළියෙල කරමින් සිටින විට ජංගම දුරකථනය නාද විය. මගේ ඇස් නිලංකාර විය. ඒ අර දුරකථන අංකයමයි. මා පුටුවට ඇද වැටුනෙමි.

" දෙවියනේ මොකද්ද මේ මං පැටලිල ඉන්න අවාසනාව? මං මේකෙන් ගැලවෙන්නෙ කොහොමද? මං කාටද මේක කියන්නෙ. "

මා එම ඇමතුමට පිළිතුරු නොදුන්නද දිගටම ඇමතුම එන්නට විය. සිරුර දහඩියෙන් නැහැවෙන්න තරම් ය. ඉක්මනින් සූදානම් වී හෂාන්ටත් කියා කාර්යාලයෙන් පිටත් විය.
මා නිවසට පැමිණෙන විට සවස 6.30 ලං වී තිබුනද මට ඒ ගැන කල්පනාවක් වත් නොතිබුනේ දිනෙන් දින මා පසු පසින් එන මේ භයංකාර සිදුවීම ගැන තිබුනු කැළඹිලි ස්වභාවය නිසාවෙනි.

" පුතා අද මොකද වේලාසනින්? "

" අද සිකුරාදානෙ අම්මෙ ටිකක් වේලාසනින් ආව. වැඩිය වැඩ තිබුනෙත් නෑ ඒ නිසා බණ්ඩාර සර්ට කියල හතරහමාරට විතර ආව. "

"පුතා........... පුතා.............. තේ එකක් ගේන්නද? "

"හා....... ගේන්න අම්මේ තිබහයි"

" මෙන්න තේ එක. මොකෝ මේ මූණත් එක්කම කළු වෙලා ගිහිං. ඇයි සනීප නැද්ද? "

"නෑ අම්මෙ මේ... මේ..... ඔලුව රිදෙනව වේලාසනින් ආවෙත් ඒකයි"

" හ්ම්...... බලාගෙන ඔය අසනීප වෙන්න එපා" යි කී අම්මා කාමරයෙන් පිටවී ගියාය.

" මං දැං කාටද මේක කියන්නෙ? මේක අහන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නෙ? " මෑත කාලයේ ඉතා ලඟින් ඇසුරු කළේ හෂාන් පමණි. මේ සිදිධිය කීමට සිටියේ හෂාන් පමණක් නිසා ඉක්මනින් තේ කෝප්පය පානය කර ඇඟපත සෝදාගෙන හෂාන්ට ඇමතුමක් ගත්තෙමි.



( මතු සම්බන්ධයි )













Thursday, November 8, 2012

භයංකාර අඳුරු සෙවනැල්ල පැතිරෙයි.............................

බිහිසුණු උන්මත්තකයා කවුද?....... ඔහු  ඉන්නේ කොහෙද?............................

ඒ අසත්පුරුෂයාගේ මීළඟ  ඇමතුම කාටද?






ඔහුගේ මේ බිහිසුනු ලුහුබැඳීමට ගොදුරු වන්නේ කවුද?


න්ධකාර රාත්‍රියේ හිමිකරු ඔහුද?







" අනේ දෙවියනේ ඒ කෝල් එක ආවෙනැත්තන් මම කොයිතරම් වාසනාවන්තද?"

"මං පැටලිල ඉන්නෙ මහා අවාසනාවක. මං මේකෙන් ගැලවෙන්නෙ කොහොමද? මේක කාට කියන්නද."

"මට උඹ එක්ක ටිකක් වෙලාව අරං කතාකරන්න ඕන."



------------------------ රතු ඇට මිදුළු ----------------------------

Wednesday, November 7, 2012

( මෙහි එන නම් ගම් සියල්ල මන: කල්පිතය.)

෴ රතු ඇට මිදුළු ෴

                  එදින මැයි මස 13 වෙනිදා ය. මා රාජකාරි අවසන් වී නිවස බලා යෑම ස‍ඳහා කාර්යාලයෙන් පිටත්වන විට සවස හය පසුවී ය. මා මේධාරාම මාවතේ සාමාන්‍ය අයුරින් ගමන් කරමින් සිටියෙමි. මට ඈතින් දුම්රිය ස්ථානයද පෙනෙන්නට විය. එකෙනෙහිම මාගේ ජංගම දුරකථනය නාද වීමත් සමග සිතේ පුංචි සතුටක පෙරනිමිති පහළ විය. ඒ මාගේ පෙම්වතියගෙන් පැමිනෙණ ඇමතුමක් යැයි හැඟුණ බැවිනි. දුරකථනය අතට ගත් මා හට දකින්නට ලැබුනේ කිසිදිනක දැක නොමැති         දුරකථන අංකයකින් ඇමතුමන් ඇති බවයි. ඒ කෙසේ නමුත් සැකයකින් තොරව මා ඇමතුමට සම්බන්ධ වී පිළිතුරු දීමට සූදානම් විය. 

එකවරම අනෙක් පසින් සැරපරුෂ ගෙරවිලි හඬකින් රහසින් මෙන්     “ ඔය කතා කරන්නේ කෙවින් ද“ යැයි ඇසුවේය. එසැනින් මගේ මුළු සිරුරම කිළිපොලා ගිය අතර මට කතාකරගන්නටවත් නොහැකි විය. මහා බියක් සිතේ දරාගෙන “ ඔව් කෙවින් තමයි කතා කරන්නෙ “ කියා පිළිතුරු දුන්නෙමි. ඉන් පසු ඒ පුද්ගලයාගෙන්    ශබ්දයක් නොඇසුනත් මා දිගටම දුරකථනයට සවන් දීගෙනම සිටියෙමි.  ඒ පුද්ගලයා නිහඬ වුවත් මට ඒ මොහොතේ අනෙක් පසින් අසන්නට ලැබුනේ බල්ලන් පොරකන සහ මහා විලපයක බිහිසණු හඬකි. මාගේ දිව කට වේලී ගොස් ක්ලාන්තයක් මෙන් දැනින. මට එක වචනයක්වත් කතා කරගන්නට නොහැකි විය. විගස දුරකථනය විසන්ධි කළ මා බෑගයේ තිබූ බෝතලයෙන් මූහුණ සෝදා ගතිමි. මාගේ පපුව දරා ගත  නොහැකි වේගයෙන් ගැහෙන්න පටන් ගත්තේය. මා ඉතා අමාරුවෙන් ප්‍රකෘති තත්වයට පැමිණියෙමි. එහෙත් මේ සියල්ල සිදුවූයේ විනාඩි දහයක් වැනි සුළු කාලයක් වුවද එය මගේ සිතේ දැඩි කම්පනයක් ඇති කෙරින. මේ සිතුවිලි හරඹයත් සමග මා නිවසට පැමිණෙන විට රාත්‍රී 8.30 ට ආසන්නය. නිවසට පැමිණි විගසම මා මුලින්ම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කළෙමි. ඉක්මනින් ඇඟ පත සෝදා ගත්තද රාත්‍රී ආහාර ගැනීමට තරම් මානසිකත්වයක් තිබුනේ නැති බැවින් වේලාසනින්ම නින්දට ගියෙමි.


         ( මතු සම්බන්ධයි )

Tuesday, November 6, 2012


අන්ධකාරයෙන් සිතුවම් කල බියෙන් ඇළලී ගිය රාත්‍රියක උමතුවත් සහාසික කමත් පරයමින් සිදුවූ ඒ බිහිසුණු අපරාධයේ සැක කරු මේ මොහොතේ සිටින්නේ ඔබ අසලද.............






ඔබේ දෑස් දල්වා සිටින්න ලේ පිපාසිතයාගේ අවසානය අපට වාසනාවක් වේවි.





"රතු ඇටමිදුළු".............................................

"ඉන් පසු නිහඬ වු ඒ පුද්ගලයාගෙන් ශබ්දයක් නොඇසුනත් මා දිගටම දුරකථනයට සවන් දීගෙන සිටියෙමි.මට අනෙක් පසින් ඇසුනේ බල්ලන් පොරකන ආකරයේ හඬක් සහ මහා විලාපයක හඬක් බව මට හොඳින් මතකය."